2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

අලුත් වාහන එපා කිව්ව ඇමැති තුන්දෙනා

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 97

 

මැති ඇමැතිවරුන් ලබන වරප්‍රසාද පිළිබඳව මේ දිනවල දැඩි සමාජ අවධානයක් යොමුව තිබේ. විවිධ දීමනා හා වරප්‍රසාද මැති-ඇමැතින්ට හිමිවුවද දුප්පත්කමේ රේඛාවෙන් පහළ සිටින ජනතාවගේ ආදායම එහෙමමය. එහෙත් ඛේදයට කරුණ වන්නේ ජනවරමින් පොදුජනයා නියෝජනය කිරීමට පත්වන මැති ඇමැතින්ගේ දීමනා සහ වරප්‍රසාදවල බර දරන්නට සිදුව ඇත්තේ බදු ගෙවන ජනතාවට වීමයි.

මේ දිනවල මාධ්‍යයේ පුවත් මවන මැති-ඇමැති නිල වාහන සම්බන්ධයෙන් පළවූ එක්තරා ප්‍රවෘත්තියක අපට කලාතුරකින් අසන්නට දකින්නට ලැබෙන කරුණක් අන්තර්ගත වී තිබුණි. එනම් ආණ්ඩුවෙන් තමන්ට හිමිවෙන්නට යන සුපිරි නිල වාහන ප්‍රතික්ෂේප කළ මහජන නියෝජිතයන් තිදෙනකුද සිටින බවයි. සමාජවාදයේ නාමයෙන් මැතිසබයේ මහ හඬ නගන ඇත්තන්ටත් පාඩමක් උගන්වමින් ජනතාවට තවදුරටත් බදු බර පටවන්නට නොහැකි යැයි කී මෙම මැති-ඇමැති තුන් කට්ටුව තමන්ට නිකන් ලැබෙන නිල වාහනය ප්‍රතික්ෂේප කරන බව මැතිසබයට දන්වා ඇත.

ඒ ආස්වාද ජනක පුවතට නිමිත්ත සැපයූයේ ආචාර්ය හර්ෂ ද සිල්වා, රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරැම යන නියෝජ්‍ය ඇමැතිවරුය.

දේශපාලකයා යනු මහජනතාවගේ ගැටලු විසඳීම සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට ඡන්ද දායකයන් විසින් තෝරා පත්කර ගන්නෙකි. ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව යන ආයතන නියෝජනය කිරීමට මැතිවරණ කාලයට බොහෝ දෙනෙක් පොරකති. ප්‍රාදේශීය සභාවට පළාත් සභාවට එහා ගිය රටේ උත්තරීතර ආයතනයක් වූ පාර්ලිමේන්තුවට ඇත්තේ ඉන් සුවිශේෂී ස්ථානයකි. ඡන්දය කාලයට ඕනෑම දුෂ්කරතාවයක් මැද ගෙයින් ගෙට යන බොහෝ මහජන නියෝජිතයන්ට දියවන්නා තරණය කළ පසු මහජනයාට දුන් සියලු පොරොන්දු අමතකය. කෙසේ වෙතත් මැතිවරණයට පෙර දවසේදී පවා ගෙයින් ගෙට ගිය මහජන නියෝජිතයන්ට දියවන්නාවට ගොස් සතියකට පසු මහජන සේවය පිණිස අඩියක්වත් පා ගමනින් යන්නට නොහැකි වීම හාස්‍යජනකය. 

ශ්‍රී ලංකාව වැනි අදටත් සංවර්ධනය වෙමින් පවතින රටක, මැති ඇමැතිවරුන්ට මේතරම් වරප්‍රසාද වුවමනාද? ඒ වෙනුවෙන් ගෙවන බිල් ජනතාව විසින් දැරිය යුතුද? යන්න ප්‍රශ්නයකි. ලොව දියුණුයැයි සම්මත සුපිරි රටවල මහජන නියෝජිතයෝ මහජනතාව තරම් වරප්‍රසාද නොලබති. ඔවුන්ගේ ගමන බිමන දුම්රියෙන් බස්රියෙන් හෝ බයිසිකලයෙනි. එබඳු ආදර්ශ අනන්තවත් තිබියදී ස්වකීය වරප්‍රසාද උදෙසා ඩෑෂ් ගහන මහජන නියෝජිතයන් ඇත්තේ සකල සිරින් පිරි සිරි ලංකාවේ හැර අන් කවර රටේදැයි ප්‍රශ්න කරනු වටී.

තමන්ගේයැයි කියා වාහනයක් ගැනීම අප කාගේත් සිහිනයකි. පෙර කී ලෙසට මහජනයාගේ ඡන්දයෙන් දියවන්නාවට කරක් ගැසූ ඇතමුන්ට අද තමන් එම ස්ථානයට ඔසවා තැබූ මහජනයාට සේවය කිරීමට යෑම සඳහාත් සුඛෝපභෝගී වාහන අවශ්‍යය. නැතහොත් එම ස්ථානවලට ළඟාවීම ඔවුනට දුෂ්කර කාරියකි. නමුත් ඔවුනගේ මෙම වදන් ඡන්ද කාලයට වලංගුවන්නේ නැත. එම කාලයට ඔවුහු ඉතා පහසුවෙන් දැන් ගමන් කිරීමට අපහසු මාර්ග ඉතා පහසුවෙන් තරණය කරති.

වසරකට රුපියල් හතළිස් කෝටියකට අධික මුදලක් වැය කරමින් ව්‍යාපෘති අධීක්ෂක මන්ත්‍රීවරුන්ට කුලී පදනම යටතේ වාහන ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය මේ වනවිට අත්හිටුවා ඇත. ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ඊට අදාළ නිල ලිපියට අත්සන් කිරීමද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය 2015 වසරේදීද මෙම ක්‍රමය යටතේ වාහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් එමගින් මිලියන 9800ක ඉතිරියක් සිදුකර ඇති බවත් මුදල් ඇමැති රවී කරැණානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුරා වසර 21 පුරාවටම මතුගම ආසනය නියෝජනය කළ දයා ටී. පැස්කුවෙල් මහතා පාර්ලිමේන්තුවට ගියේ බසයෙනි. නමුත් අද මහජනයාගේ ඡන්දයෙන් දියවන්නාව තරණය කරන්නා වූ ඇතැමුන් මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ගෙන්වාගත් සුඛෝපභෝගී වාහනවල නැග ආරක්ෂක රථද පිරිවරා විදුලි වේගයෙන් ඉගිල යති. ජනතාවට සහන දිය යුතු යැයි දියවන්නා තුළ පවසන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද ඉතා යහමින් මෙම වරප්‍රසාද භුක්ති විඳිමින් සිටිති. එලෙස තමන්ට හිමි වරප්‍රසාද ජනතා සේවයටම කැපකරනු ලබන්නේ ඉතා අතලොස්සකි.

මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් තමන් නමින් ආනයනය කරන වාහන විකිණීම අල්ලස් පනතට අනුව අපරාධයක් වුවද මෙම බලපත්‍රය මුදලට අලෙවි කරන මහජන නියෝජිතයන්ද අද දියවන්නා තුළ හිඟ නැත. මෙමගින් වෙළෙන්දාට මිලියන ගණනක වාසියක් සිදුවන අතර එහි බදු ලෙස රජයට ලැබිය යුතු කෝටි ගණනක මුදලක් එමගින් අහිමි වී යනු ඇත. මන්ත්‍රීවරුන් විසින් තීරුබදු රහිතව ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන වෙළෙඳුන්ට විකිණීම ගැන රජය නිහඬ පිළිවෙතක් දැරීම ගැන ජනතාවට ඇත්තේ පුදුමයකි. මෙලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන්වන ලද වාහන වෙනත් පුද්ගලයන්ට අලෙවි කොට අයුතු ලෙස ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධව තමන් කරන ලද පැමිණිල්ල විභාග නොකිරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව නීතීඥ නාගහලන්ද කොඩිතුවක්කු මහතා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට රීට් ආඥා පෙත්සමක්ද ගොනු කළේය.

මෙලෙසින් තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාගෙන මුදලට අලෙවි කළ මන්ත්‍රී ලැයිස්තුවේ රජයේ දූෂණ වංචා සොයමින් ජනතාව දැනුම්වත් කරන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඇතුළත් වී සිටීම පුදුමය දනවන කාරණයකි.

ආණ්ඩු පක්ෂයේ රන්ජන් රාමනායක, පාලිත තෙවරප්පෙරුම සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ඔවුනට හිමි තීරුබදු රහිත මෙම වාහන බලපත්‍රය ප්‍රතික්ෂේප කොට ඇත. 

තමන්ට හිමි මෙම මන්ත්‍රී වරප්‍රසාදය ලබා නොගන්නේ මන්දැයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් කළ විමසීමකදී ඔහු අපට පැවසූයේ මෙයයි.

මම පත්වීම ලබපු දවසෙම ලක්ෂ 300ක් වටිනා වාහනයක් මට ලබාදුන්නා. නමුත් මම එය ප්‍රතික්ෂේප කළා. එවලේම මම මගේ පෞද්ගලික ලේකම්වරයා මගින් අමාත්‍යංශ ලේකම්වරයා දැනුම්වත් කළා ඒ මුදල් කලාකරුවන්ගේ සුබසාධනය සඳහා යොදවන ලෙසට. එමෙන්ම මෙවරත් මන්ත්‍රීවරුන්ට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ මුදල් අමාත්‍යංශයට ලබාදෙනවා. අමාත්‍යංශය මගින් ජනතාවට ලබාදෙන සහන වැඩකටයුතු සඳහා යොදාගැනීමට. රටේ ආර්ථික තත්ත්වය වැටී ඇති මෙම අවස්ථාවේදී මෙලෙස කැපකිරීම් කරලා ජනතාවට සහන සලසන්න ඕන.

තමන්ට හිමි වාහන බලපත්‍රය ලබා නොගන්නා බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද දේශයට මෙසේ පැවසුවේය.

මන්ත්‍රීවරුන්ට සැප වාහන ලබාදීම සඳහා යෝජනා කරපු අවස්ථාවේදීම එයට මුල සිටම මම විරුද්ධ වුණා. පහුගිය ආණ්ඩු කාලයේදී අරගෙන තිබෙන ණයත් සමඟ මන්ත්‍රීන්ට ගෙන්වන මෙම සැප වාහන සඳහාද විශාල මුදලක් වැයවෙනවා. මේ සියල්ලෙන්ම බර පැටවෙන්නේ ජනතාවට. මට හිමි වාහන බලපත්‍රය මම එපා කිව්වේ යම් හෝ සහනයක් ජනතාවට ලබාදීමේ අරමුණින්. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා 1994 ඉඳන් වංචා දූෂණ කරපු උදවිය. මේ වරප්‍රසාදය ඔවුන්ටත් හිමිවෙනවා. මම ඒකටත් විරුද්ධයි. පහුගිය ආණ්ඩු කාලයේ විශාල ලෙස කොමිස් මුදල්, අයථා ලෙස මුදල් උපයා ගැනුණු පුද්ගලයන්ට මෙම වරප්‍රසාදය වැඩක් නැහැ.

මෙම වරප්‍රසාද හිමිවිය යුතු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන්ට වරප්‍රසාදය දුන්නට කමක් නැහැ. නමුත් අනෙකුත් පුද්ගලයන්ට ලබාදෙනවාට මම විරුද්ධයි. හොරා කාපු උදවියට මෙම වරප්‍රසාදය හිමි වෙනවා කියන්නේ හොරාට ටිප් එකක් දෙනවා වගේ වැඩක්. කොහොම වුණත් මන්ත්‍රීවරුන්ට ලබාදෙන මෙම වාහන බලපත්‍රය මම ලබාගන්නේ නැහැ. මේ ආණ්ඩුව ණය බරෙන් නිදහස් වූ කාලෙක මේ රට ණය බරෙන් නිදහස් වූ කාලෙක මම මේ වරප්‍රසාදය භුක්ති විඳිනවා.

ජනතාව බදු බරෙන් හෙම්බත්ව තුන්වේල කෑමත් උභතෝකෝටිකයක් වී ඇති මොහොතක මන්ත්‍රීවරුන්ට හිමිවූ සුපිරි වරප්‍රසාද කොතරම් දුරට සාධාරණදැයි හෘද සාක්ෂියට එකඟව විමසා බලන මෙන් සිහිපත් කරමු.

♦ හසිත් අංජන

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00